lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නුවරඑළිය සංවර්ධනයට නව සැලසුම්

296637695 768x432 1

සිව් වසරක් තුළ මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

 

නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලු දෙනාට අවස්ථාව ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

 

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම ද එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැදගත්කම සඳහන් කර තිබෙනවා.

 

එමෙන්ම නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලින ගැටලුවක් වන අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිළෙක් ක්‍රියාවට නංවන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙසයි නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරිම් සිදුකළ යුතු අතර විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

මධ්‍යම අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් වීමත් සමග නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බව එහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඔවුන්ගේ පහසුකම් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති බව සඳහන්.

ආයෝජකයන්ට හෝ කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත්, පරිසර හිතකාමී සහ සැලසුම්සහගත සංවර්ධනයක් දිස්ත්‍රික්කය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව අලුතින් සිතා රටට අවශ්‍ය අලුත් වැඩපිළිවෙළ සමග සියලුදෙනා පෙළගැසිය යුතු බව ද සඳහන් කර තිබෙනවා.

අලුත් අවුරුද්දෙන් පසුව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, අධිකාරි සහ කොමිෂන් සභාවල සභාපතිවරුන් මෙන්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට තමා අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා 2025 ඉලක්කගත සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බවයි සඳහන් කර ඇත්තේ.

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media