lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

මුල්ලේරියාව දරුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

1686318572 child L

මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක පස් හැවිරිදි දරුවකු කැපුම් තුවාල සහිතව මියගොස් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පාපොච්ඡාරණයේදී පවසා ඇත්තේ තමා තණකොළ කපන යන්ත්‍රය අලුත්වැඩියා කරන අතරවාරයේ එහි තලය වැදී දරුවා ඇදවැටුණු අතර බියට පත් තමන් දරුවා වීදුරු බෝතලයක කටු ඇනීමෙන් මියගිය බව හැඟවීමට ක්‍රියාකළ බවි.

මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට පෙරේදා (08) සවස මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවාගේ සිරුර මෙලෙස හමුවී ඇති අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියා.

වඩාත් හානි සිදුව තිබුණේ ඔහුගේ උදර ප්‍රදේශයටි.

සිරුර ආසන්නයේ ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු අතර දරුවාගේ එක් සෙරෙප්පුවක් ද ඒ අසල තිබුණා.

අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබෙන ආකාරය දක්නට ලැබුණා.

මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා (08) රාත්‍රියේ සිදුකෙරුණු අතර මූලික විමර්ශනයේදී අනුමාන කෙරුණේ දරුවාට වීදුරු බෝතලයේ කටු ඇනී ඇති බවටි.

අනතුරුව දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඊයේ රාත්‍රියේ ම මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවි.

මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා ද ඊයේ (09) උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළා.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණු අතර එහිදී දරුවාගේ උදරයේ වම් පස කොටස තියුණු ආයුධයකින් කැපී ඇති බව අනාවරණ වී ඇති බව වාර්තා  වුණා.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද (10) නිකුත් කිරීමට නියමිති.

මියගිය දරුවාගේ පියා වෙන්ව ජීවත් වන අතර මව දිවා කාලයේ රැකියාව සඳහා පිටත්ව යන හෙයින් දරුවා රැකබලාගනු ලැබ ඇත්තේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසි්.

සීයා මෙම අනතුර වූ වැඩබිමේ මුරකරු ලෙස සේවය කරන නමුත් පෙරේදා ඔහු වෙනත් ගමනක් ගොස් තිබෙනවා.

සීයා දරුවාව අසළ නිවසක තබා යාමට සූදානම් වුවත්  “සීයා ගිහින් එන්න. මම තණකොළ කපන මාමා එක්ක පරිස්සමෙන් ඉන්නම්,” යනුවෙන් දරුවා පවසා තිබෙනවා.

දරුවා වීදුරු බෝතලයක් උඩ වැටී මියගොස් සිටින බවට අසළ නිවැසියෙකු වෙත දන්වා ඇත්තේ තණකොළ කපමින් සිටි පුද්ගලයා විසින්.

බිඳී ගිය වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මිය ගොස් වැටී සිටි ස්ථානය අතර පරතරය අඩි හතරක් වන නමුත් එම පරතරය තුළ බිම කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පොලිසියේ සැකයට තුඩුදී තිබුණා.

එමෙන්ම මෙවැනි කුඩා දරුවකුගේ සිරුරට යටවී බෝතලයක් එතරම් කුඩා කැබලිවලට බිඳීයා නොහැකි බවත් පොලිසියේ නිරීක්ෂණය වී තිබුණා.

ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා කෙරෙන විමර්ශන වෙනුවෙන් මුල්ලේරියාව පොලීසිය අද දරුවාගේ සීයා සහ දරුවා මියයන අවස්ථාවේ එහි සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා.

තණකොළ කපමින් සිටි පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවකු වන අතර ඔහු පොලිසිය හමුවේ පාපොච්ඡාරණයක් සිදුකර තිබෙනවා

එහිදී ඔහු පවසා ඇත්තේ තම තණකොළ කපන යන්ත්‍රෙය් දෝෂයක් පරීක්ෂා කරමින් සිටි අතරතුර අසළ තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගිය බවි.

වීදුරු බෝතලය බිඳී විසිරයාම වළක්වාගැනීම සඳහා තමා යන්ත්‍රෙය් තලය පසෙකට ගත් අවස්ථාවේ එය අසල සිටි දරුවාගේ උදර ප්‍රෙද්ශයේ ගැටුණු බවත් , ඉන් දරුවා තුවාල සහිතව ඇදවැටීමත් සමඟ තමා බියට පත්වූ බවත් තණකොළ කපමින් සිටි පුද්ගලයා පවසා තිබෙනවා.

ඒ අනුව දරුවා වීදුරු බෝතලයක් බිඳී එහි කටු ඇනීමෙන් මියගිය බව ඇඟවීම සඳහා ක්‍රියාකළ බව ඔහු පොලිසිය හමුවේ පාපෝච්ඡාරණය කර ති‌බෙනවා.

පසුව තමා 119 හදිසි ඇමතුම් අංකය අමතා දරුවකු මියගොස් සිටින බව දැනුම් දුන්නේ යැයිද සැකකරු සඳහන් කර තිබුණා.

ඒ අනුව අද පස්වරුවේ මුල්ලේරියාව පොලීසිය මගින් තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

51 හැවිරිදි එම පුද්ගලයා අද (10) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිති.

මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media