15.9 C
New York
Friday, May 17, 2024

Buy now

spot_img

ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම සම්මාන උළෙල

IMG 20240510 WA0020
ශ්‍රී ලංකාවේ පළමුවරට රාජ්‍ය අනුග්‍රහයන් ජාතික විශිෂ්ඨතා සන්නාම සම්මාන උළෙලක් (Brands Excellence Awards Ceremony) පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානම්වේ. මෙරටේ වෙළෙඳ සන්නාම සඳහා සම්මාන උළෙලවල් කීපයක් පැවැත්වුණත්, කර්මාන්ත අංශයටම වෙන්වූ සන්නාම සම්මාන උළෙලක් මෙතෙක් පැවැත්වී නොමැති බවත්, එමනිසා ශ්‍රී ලාංකීය නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත සන්නාමයන් විදෙස් වෙළෙඳ පොළවෙත ගෙනයාමට බාධාවක්ව පැවති බවත්, ඒ පිළිබඳව අවධානය යොමුකළ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි පළමු වරට කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂිත සන්නාම සම්මාන උළෙලක් පැවැත්වීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් සියලු කටයුතු සංවිධානය කර තිබෙන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පවසයි.
“මේ ආකාරයට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් හා උපක්ෂේත්‍ර 125ක් පමණ ආවරණය වන පරිදි මෙම සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා මේ වනවිටත් සුළු, මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්තකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙනඇති බවත්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.”
“මෙම සන්නාම සම්මත උළෙල සුළු, මධ්‍යම හා මහා පරිමාණ ලෙස පවත්වන බැවින්, ඒ සඳහා වෙනමම අයඳුම්පත් යොමුකළයුතු වෙනවා. අපි මෙම සම්මාන උළෙල දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ජාතික මට්ටමින් සිදුකෙරෙනවා. ඒ සඳහා අයඳුම්පත්‍ර පිරවීමේ සිට, ඒවා නිසි ආකාරයට යොමුකිරීම සඳහා අවශ්‍ය සියලුම උපදෙස් අපගේ දිස්ත්‍රික් කාර්යාල වල සිටින නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්ගෙන් ලබාගත හැකි වෙනවා. මෙසේ යොමුකරන කර්මාන්තකරුවන්ගේ සන්නාම ආශ්‍රිත අයදුම්පත් විද්වත් මණ්ඩලයක් අධීක්ෂණයට ලක්කර රටපුරාම දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් තෝරාගෙන සම්මාන 120ක් පමණ ලබාදීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ලංකා කාර්මික කාර්මික සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා ජයලත් මහත්මිය පවසනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතාකරන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙසේද පවසයි.
කර්මාන්ත ක්ෂේත්‍රය පවතින්නේ වෙළෙඳ නාම හෙවත් සන්නාම (Brands) මතයි. අපේ සිලෝන් ටී සන්නාමය නිසා මුළු ලෝකයම අපේ රට ගැන දන්නවා. ඒ වගේම අපේ රටේ කර්මාන්තකරුවන්ද සිය නිෂ්පාදන සන්නාමයන් නිසා රටතුළ පාරිභෝගික ජනතාව අතර ජනප්‍රියව සිටිනවා. ඒවගේම ඔවුන්ගේ නිෂ්පාදනයන්ට හොඳ අලෙවියක්ද ලැබී තියෙනවා. එමනිසා කර්මාන්තකරුවාගේ පැවැත්මට ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩවල සන්නාම ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ ආකාරයට පළමුවරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිෂ්පාදන සන්නාම වලට රාජ්‍ය අනුග්‍රහයෙන් සම්මාන උළෙලක් පවත්වන්නේ, අපේ කර්මාන්තකරුවාගේ නිෂ්පාදන සන්නාම ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ගෙනයාමටයි. මේ මඟින් අපි කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ පුනරුදයක් මෙන්ම රටේ ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කරනවා. අපි වසරක් පාසා මෙම සන්නාම සම්මාන උළෙල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ මඟින් සන්නාමයට වටිනාකමක් ලබාදී අපේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය තිරසාරව පවත්වාගෙන යමින් රටේ ආර්ථිකයට කර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය දෙගුණයකින් වැඩිකිරීමට අපේක්ෂා කරනවා” යැයි පැවසීය.
2024 මැයි මාසයේ අගදී පැවැත්වීමට අපේක්ෂිත මෙම ජාතික විශිෂ්ඨතා සන්නාම සමාමන උළෙල සඳහා අවශ්‍ය තොරතුරු හා අයදුම්පත මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා දිස්ත්‍රික්ක 25හේම සිටින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්ගෙන්ද ලබාගතහැකිය. මෙසේ පළමුවරට පවත්වන සන්නාම සම්මාන උළෙලට අයඳුම්කරන කර්මාන්තකරුවන්ට අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශන ඉදිරි කාලයේදී ලබාදීමට සැලසුම්කර තිබෙන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි. මේ පිළිබඳ වැඩි විස්තර www.idb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles