පාරිභෝගිකයන්ට සාධාරණ මුදලකට සීනි අලෙවියට පියවර ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවැසීය.
සෙවණගල සීනි කර්මාන්තය විකිණීමක් නොකරන බවත් පාඩු ලබන මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
සෙවණගල සීනි කර්මාන්තය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැදූ සැලැස්ම ඉදිරියේදී ක්‍රියාවට නංවන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සෙවණගල සීනි කර්මාන්තය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
සීනි කර්මාන්තශාලා දෙකක් පැල්වත්ත සහ සෙවණගල ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඇතිමලේ පෞද්ගලික කර්මාන්තශාලාවක් තිබෙනවා. ගල්ඔය රජයට සියයට 49ක් අයිතිය තිබෙන ඒකාබද්ධ කර්මාන්තශාලාවක් තිබෙනවා. 2024 වසරේ සීනි කිලෝ මිලියන 564ක් ආනයනය කර තිබෙනවා. 2025දී කිලෝ මිලියන 140ක් ආනයනය කර තිබෙනවා. සුදු සීනි තමයි ආනයනය කරන්නේ. ආනයනය කරන සීනි කිලෝවක් මත පනවන බදු වන්නේ රුපියල් 50ක්. දේශීයව නිෂ්පාදනය කරන සීනි කිලෝවක් සඳහා පනවන බදු ප්‍රමාණය වන්නේ සියයට 20.5ක බද්දක්. දේශීයව නිෂ්පාදනය කරන සීනි 2024 වසර තෙක් වැට් බද්දෙන් නිදහස්ව තිබුණා. 2024 ජනවාරි 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරන සීනිවලට බදු පැනවූවා. පසුගිය ආණ්ඩුව යටතේ එය සිදු වුණා. දුඹුරු සීනි කිලෝව අපි ආණ්ඩුව ගන්න විට තිබුණේ රුපියල් 360ට. සුදු සීනි 220ට තිබුණේ. අදත් සුදු සීනි 220ට තිබෙන්නෙ. දුඹුරු සීනි 360ට තිබූ එක රුපියල් 260ක් දක්වා අපි අඩු කළා.
දයා ගමගේගේ කාලයේත් මේක විකුණන්න හැදුවා. පැල්වත්ත, සෙවණගල 5400 ක් සේවකයන් සිටිනවා. කිසිම සේවකයෙක් ඉවත් කරලා නැහැ. කොන්ත්‍රාත් පදනම යටතේ සිටිනවා. දෛනික වැටුප් පදනමේ සිටිනවා. පුහුණු අය සිටිනවා. ඒ කිසිවකුගේ කිසිදු දෙයක් අඩු කර නැහැ. විපක්ෂ නායකයා කියන විදියට රුපියල් 175ට ලොවෙත් සීනි නැහැ. වැට් බදු ඉවත් කිරීමෙන්ම පමණක් මේ ගැටලුව විසඳන්න බැහැ. තව ගොඩක් හේතු තිබෙනවා. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය යෝජනා ක්‍රියාවට නැංවීමට අපි ඉදිරියේදී සැලසුම් කරනවා.ඇමතිවරයා පවසා සි.
ඡායාරුපය අන්තර් ජාලයෙන්