ළමයින් සඳහාම වූ කලා භාවිතයක් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ, එස්. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා වැනි කිවිඳුන් ළමා ලෝකය මනාවවටහාගෙන ළමා මනසට යෝග්‍ය වන කාව්‍ය නිර්මාණ සේම මාර්ටින් වික්‍රමසිංහයන්, ටී. බී. ඉලංගරත්නයන්, කුමාරතුංග මුනිදාසයන්, ජී. බී. සේනානායකයන් වැනි සාහිත්‍යවේදීන් රචනා කළ නවකතා සහ කෙටිකතා ඇසුරෙනි ළමාපිටිය වැනි ගුවන්විදුලි වැඩසටහන් මඟින් විකාශනය වූ ළමා ගීත රාශියක් ශ්‍රවණය කිරීම සඳහා ළමයින්ට අවස්ථාව සැලසුන අතර, දක්ෂතාවෙන් යුත් ළමයින්ට එවැනි වැඩසටහන්වලට සහභාගිවීම සඳහා අවකාශ ලැබිණ. එසේම, 1940 ගණන්වල සිට සිංහල විෂයට අනුබද්ධ පාසල්වල ළමා නාට්‍ය නිෂ්පාදනය සිදුවිය. එතෙකුදු වුව, මෙම ළමා නාට්‍යවල පෙළ රචනා, නූතන ළමා මනෝවිද්‍යාවට අනුකූලවන, ළමා මනසට ගැළපෙන තේමාවන් හා සංකල්පයන්ගෙන් යුක්ත නොවූ රචනා බව පැහැදිලිය. මෙහි සිදුවූයේ වැඩිහිටියන්ගේ කතා ළමයින් ලවා රඟදැක්වීමය. මෙය ළමයින්ගේ පෞරුෂ වර්ධනයට හානිකර ව්‍යාපාරයක් බව ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධන මහතා 1969 වසරේ නිකුත් වූ ‘රූපණ’ සඟරාවේ පළ කළේය.