මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි.
‘දාගේ’ කෘතිය ඔස්සේ 1988 දී නවකතාකරණයට ප්‍රවේශ වන ඔහු චාරුමන්දා, මතකවත, මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක් සහ ආරාමදාස යන නවකතා රචනා කරමින් සිය අනන්‍යතාව සිංහල සාහිත්‍යය තුළ සලකුණු කර ඇත.
මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය. මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය’ (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න’ (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.
හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි.