• Home
  • ආර්ථික
  • VFS ක්‍රමයෙන් බිලියන 4.5ක් රජයට – ඔක්තෝබරයෙ සිට ඊ පාස්පෝට් එකක්

VFS ක්‍රමයෙන් බිලියන 4.5ක් රජයට – ඔක්තෝබරයෙ සිට ඊ පාස්පෝට් එකක්

ටිරාන් අලස්

වී.එෆ්.එස්. ආයතනය මගින් වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු රුපියල් බිලියන හතරයි දශම පහක (4.5) ආදායමක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

මෙම ක්‍රමය හඳුන්වාදීම සඳහා රජයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් හෝ මහජනතාවගෙන් කිසිදු මුදලක් වැය නොවූ බවත් VFS ක්‍රමය හඳුන්වාදීමට පෙර මොබිටෙල් ආයතනයට මසකට ලබාදුන් රුපියල් මිලියන දෙකක (02) මුදල පවා ඉතිරි වූ බවත් එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට ඉදිරිපත් වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.“මෙම VFS ව්‍යාපෘතිය මුලින්ම 2022 පෙබරවාරි මාසයේ ජනාධිපති කාර්යාලයට යොමුකර සංචාරක, ආරක්ෂක, විදේශ කටයුතු අමාත්‍යාංශ ඇතුළු විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර තිබුණා. එදා ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක අමාත්‍යාංශය යටතේ පැවැති නිසා එවක අමාත්‍යාංශ ලේකම්ව සිටි චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර වැඩ කටයුතු කරගෙන ගොස් තිබුණා.

ඉන්පසු ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්වීමෙන් පසුවත් එම කමිටුව ඔවුන් සමග සාකච්ඡා කර තිබුණා. 2023 පෙබරවාරි හෝ මාර්තු මාසයේ අපේ අමාත්‍යාංශයට VFS ආයතනයේ නිලධාරීන් පැමිණ එතෙක් සාකච්ඡා කරමින් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි සමගත් සාකච්ඡා කරා.

ඒ වනතෙක් මොබිටෙල් ආයතනය වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදයට සම්බන්ධව සිටි නිසා ඔවුන්ට නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා තිබුණත් ඔවුන් එය සිදුකර තිබුණෙ නැහැ. පසුව අපේ අමාත්‍යාංශ ලේකම් ආගමන විගමන පාලක ජනරාල්වරයා හා එක්ව VFS සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා.

නව ක්‍රමය යටතේ වීසා කාණ්ඩ 07 වීසා කාණ්ඩ 17 යටතේ තමයි ගැසට් කිරීම සිදු කළේ. ඒ අනුව VFS ක්‍රමවේදයට වීසා ක්‍රමය හඳුන්වාදීම පසුගිය අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක කළා. ඒ අනුව අපි කළ සොයා බැලීමේදී නව ක්‍රමවේදය නිසා රුපියල් බිලියන හතරයි දශම පහක පමණ ආදායමක් ලැබී ඇති බව පෙනී ගියා. මෙම ක්‍රමය රටවල් 67ක කාර්යාල 160ක පමණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එය තමයි අපේ රටේත් භාවිත කරන්නේ. මෙම ක්‍රමවේදයට ජාත්‍යන්තර සහතිකය පවා ලැබී තිබෙනවා.

මේ ක්‍රමවේදය අධිකරණය මගින් අත්හිටුවීමට නියෝග ලැබී ඇතත් එය එකවර සිදුකරන්න බැහැ. එහෙම වුණොත් වෙනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. මේ ක්‍රමවේදය පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නිසි ක්‍රමවේදයට කර ඇති නිසා මෙය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවට ගිහින් කරන්න ඕන ද අධිකරණයට ගිහින් කරන්න ඕන ද කියන එක නීතිපතිවරයා විසින් දෙන උපදෙස් අනුව සිදුකළ යුතුයි.

ඒ වගේම ගුවන් ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීම වසර 23ක් තිස්සේ එකම ආයතනයකින් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකර තිබෙනවා. මෙවරත් එසේ කිරීමට යෑමේදී මම ටෙන්ඩර් කැඳවා ගන්නා ලෙස උපදෙස් දුන්නා. මෙතෙක් කාලයක් පාස්පෝට් එකක් ඇමරිකන් ඩොලර් පහයි දශම අටයි නවයකට අරන් තියෙනවා. නමුත් අපි ටෙන්ඩර් කැඳවා E පාස්පෝට් එකක් නව තාක්ෂණය සහිතව ඩොලර් පහයි දශම පහකට ගන්න හැකිවෙලා තියෙනවා.

ඒ පාස්පෝට් ලබන ඔක්තෝබර් මාසයේදී ලැබීමට නියමිතයි. එය වර්ණ තුනකින් ලබාදීම සිදු කරනවා. අපි සතුව පාස්පෝට් ඔක්තෝම්බර් වනතෙක් දිනකට 1000 බැගින් ලබාදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පාස්පෝට් ගත්ත පිරිසෙන් සියයට 23ක් විදෙස්ගතවීම් සිදුකර නැහැ. ඒ නිසා මේ නව පාස්පෝට් ලැබෙන තෙක් අත්‍යවශ්‍ය නොවන අයට පාස්පෝට් ගැනීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. ලබන ඔක්තෝබර් සිට නව තාක්ෂණය සහිත E පාස්පෝට් එකක් ඒ අයට ගන්න පුළුවන් කියලත් මම කියනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top