‘ජනතාවට වඩා උඩින් සිටීමට උත්සාහ නොකරන, බලය ගැනීමට පෙර තිබුණු කැපකිරීම, තම පක්ෂයේ ප්‍රතිපත්තිය‘ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනතාව ඒ බව වටහාගෙන ඇතැයි ද ඒ මහතා පැවසුවේය.
බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පසුගිය 14 වැනිදා පැවති 35 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
‘අද අපි එකතු වෙලා ඉන්නේ 35 වැනි වරට ඉල්මහ විරුවන් සමරන්නයි. අපි මීට ප්‍රථම අපේ විරුවන් සැමරුවේ, බලය අත්පත් කර ගැනීම සඳහා පොර බදන ව්‍යාපාරයක් ලෙසටයි, බලය අත්පත් කර ගැනීම සඳහා ඔවුන්ගේ ආදර්ශයන්, පරිත්‍යාගයන් උකහා ගනිමින් ඉදිරියට යා යුතු ව්‍යාපාරයක් ලෙසටයි අද අපි ඔවුන් සමරන්නේ. පැරණි අවධියේ අභියෝගයන් සහ අලුත් අවධියේ අභියෝගයන් අතර විශාල වෙනසකට අිට මුහුණදීමට සිදුවී තිබෙනවා. එය අපි තේරුම් ගත යුතුව තිබෙනවා.
අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, දේශපාලන බල මණ්ඩලයේ සහෝදරවරු, මධ්‍යම කාරක සභාව ඇතුළු අපට යම් ආහාර වේලක් ලබාදුන් අය පවා එදා ඝාතනය කරනු ලැබුවා. පාලක පන්තිය, ඔවුන් ඝාතනය කිරීම දක්වා වූ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමෙන් සිදුවුණේ පාලක පන්තියේ ස්වභාවය, ඔවුන් අප කෙරෙහි දක්වන ප්රතිවිරෝධී ආකල්පයේ සැබෑ තරම තේරුම් ගත හැකියි.
අපි 1978 වසරේ යළි ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට, ඉතාමත් සාමකාමීව ප්‍රවිෂ්ට වූවා. එම වසරේ පැවැති අතුරු මැතිවරණවලට තරග කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ජනය කරද් දී, අපි තරගයට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි තරග වැදුණා.
අප විසින් තෝරා ගත යුතු මාවත් දෙකක් තිබුණා. එකක් අරමුණ අත්හැරීම. අනෙක තහනමට යටත්ව අරමුණ වෙනුවෙන් කටයුතු කිරීම. ඉල්මහ විරුවන්ගේ සුවිශේෂී ලක්ෂණයම තමයි, අරමුණු අත්හැර සුවපහසු පාරක් තිබිය දී, අරමුණු වෙනුවෙන් දුෂ්කර පාරක් තෝරා ගැනීම. අපේ පැරණි සහෝදරවරුන්, විරුවන්, අරමුණු වෙනුවෙන් ඊට අනුරූපී ක්‍රියාමාර්ගවල ගමන් කළා. එවිට පාලක පන්තියට ඊළඟට අවශ්‍ය වන්නේ කුමක්ද? අරමුණු මරා දමන්න නොහැකි නම්, අරමුණු දරන මිනිසුන් මරා දැමීම ඊළඟ පියවර වුණා. ඒ අවස්ථාවේ සිදු නොවිය යුතු දේ සිදුවුණා.