• Home
  • කලා
  • ජනාධිපති පරිසර සම්මාන ගැන දැනුවත් කිරීමක්

ජනාධිපති පරිසර සම්මාන ගැන දැනුවත් කිරීමක්

Image

“ජනාධිපති පරිසර සම්මාන – 2024” වැඩසටහනෙහි අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024 මාර්තු 31 වෙනිදා දක්වා දිගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. 

අයඳුම්කරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ ඇත. එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

“කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ දෙක යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. 

ඒ අනුව “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු අංශ දහසය(16) කි. 

ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ/ ප්‍රතිචක්‍රීකරණ/ බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාරපාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරි සැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන හා රූපලාව්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍ය ශාලා, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, සත්ත්ව ගොවිපළවල්, නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත, තේ කර්මාන්ත ශාලා, මුද්‍රණ කටයුතු සහිත ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත, ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති (කුඩා පරිමාන ජල විදුලි ව්‍යාපෘති/ සූර්ය බල ව්‍යාපෘති/ සුළං බල විදුලි උත්පාදන ව්‍යාපෘති), පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති යනු “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” යටතේ අනු  අංශ  දහසය යි.

“ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ අට(08) කි. පාසල්, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්ෂණය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති පුද්ගලයින්, පරිසර සංරක්ෂණය හා ප්‍රවර්ධන කාර්යන්හි කටයුතු කරන ජාතික මට්ටමේ රාජ්‍ය නොවන පරිසර සංවිධාන, පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්/විශ්වවිද්‍යාල සහ තෘතීයික අධ්‍යාපන ආයතන/ විවෘත අංශය), ජනමාධ්‍ය අංශය (“තනිපුද්ගල” සහ “පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා” ලෙස මෙහි අංශ දෙකකි) යනු එම අංශ අට යි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකතන අංක වලට හෝ 0112888999 යන ක්ෂණික ඇමතුම් අංකය වෙත ඇමතීමෙන් අයඳුම්පත් සහ වැඩි විස්තර ලබා ගත හැකිය. 

තවද 0706725222  යන  දුරකතන  අංකයෙන් සහකාර අධ්‍යක්‍ෂිකා ආචාර්ය ලක්මිණී රාධිකා මෙනවිය ඇමතීමෙන් ද 0713486339 යන දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී අර්ෂා කුමාරි මහත්මිය ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසා දී තිබේ. 

සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදුකරනු ලබන අතර විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජනාධිපති පරිසර සම්මාන (රන් සම්මාන), රිදී පරිසර සම්මාන, පරිසර  සම්මාන  සහ  කුසලතා  සම්මාන ආදී  ලෙස වූ සම්මාන හිමිකර  ගැනීමට  “ජනාධිපති පරිසර සම්මාන” උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමි වේ. 

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

1 Comments Text
  • etgvdhdaep says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Muchas gracias. ?Como puedo iniciar sesion?
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top